රුපියල් ලක්‍ෂ නවයකට අධික වටිනාකමින් යුත් පෙට්‍රල් තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 අ‍ගෝස්තු මස 20 වන දින කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ලොරි රථ දෙකක් (02) පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී, නීති විරෝධි ලෙස ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගය, සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ලොරි රථ දෙකක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 48ත් අතර වයසේ පසුවන කල්පිටිය, වාරියපොළ සහ රත්නපුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී.

තවද, නාවික හමුදා භාරයට ගත් පෙට්‍රල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්‍ෂ නවයකට අධික වන අතර, එම පෙට්‍රල් තොගය, සැකකරුවන් තිදෙනා (03) සහ ලොරි රථ දෙක (02) ඉදිරි නිතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.