රුපියල් මිලියන 4.5 කට අධික වෙළඳපොල වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2022 අ‍ගෝස්තු මස 20 වන දින උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී පොලිතීන් උර තුල ඇසුරුම් කරන ලද විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ඖෂධ තොගයක් මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඖෂධ තොගය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විස්වාශ කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම ඖෂධ තොගයේ දළ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 4.5 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම ඖෂධ තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.