මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2022 නොවැම්බර් 05) සවස් කාලයේ තලෛයිමන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින්, අද (2022 නොවැම්බර් 05) සවස් කාලයේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (02) යොදවා සිදුකරන ලදී. එහිදී, තලෛයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පහළොස් දෙනා (15) මේවන විට තලෛයිමන්නාරම වෙත රැගෙන එමින් පවතින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.