රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් බේරුවලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ 2022 ‍නොවැම්බර් මස 07 වන දින උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ ගෙවත්තක වළදමා සූක්‍ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 යි ග්‍රෑම් 304 ක තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය සහ හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2022 ‍නොවැම්බර් මස 07 වන දින සිදු කළ මෙම මෙහෙයුමේදී බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම නිවසේ ගෙවත්තෙහි වළදමා සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 යි ග්‍රෑම් 304 ක තොගයක් (ඇසුරුම් බර සහිත) සහිත පාර්සල් 07 ක් සමඟ එක් සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 166 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු සහ හෙරොයින් තොගය සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව හම්බන්තොට, මහා රාවණා ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගෙන 2022 නොවැම්බර් 07 උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලද රුපියල් මිලියන 6622 ත් 13244 ත් අතර දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 කට අධික තොගය සහ බේරුවලදී අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයත් සමඟ, ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 23.29 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, මෙවැනි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව දායකත්වය දක්වනු ලබයි.