මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 නොවැම්බර් මස 16 වන දින සන්ධ්‍යාවේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) යාපනය, වෙත්තලකේනි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, 2022 නොවැම්බර් මස 16 වන දින සන්ධ්‍යාවේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා සිදුකරන ලදී. එහිදී, යාපනය, වෙත්තලකේනි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දහහතර දෙනා (14) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුලට ඇතුළු වී අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 30 ක් සමඟ ඉන්දීය ධීවරයින් 228 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.