වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල, වැරැල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද දින (2023 ජනවාරි 27) අළුයම් කාලයේ කටයුතු කරන ලදී.

වත්තල, වැරැල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ පවත්වා ගෙන ගිය කර්මාන්තශාලාවක් හදිසි ගිනි ගැනීමකට ලක්වී ඇති බවත්, එම ගින්න මැඩපවත්වා අවට ප්‍රදේශයට ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහාය ලබා දෙන ලෙස වත්තල පොලිස් ස්ථානය මඟින් අද දින (2023 ජනවාරි 27) අළුයම් කාලයේ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදු කරන ලදී.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක්, ගිනි නිවීමේ රථයක්ද සමඟින් අදාල ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානය වෙත යොමු කරන ලද අතර, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම විසින් කර්මාන්තශාලාවේ සේවකයින්ගේද සහයෙන්, ගින්න පාලනය කර අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට කටයුතු කෙරිණි.

තවද, ඕනෑම හදිසි අවස්ථාවකදී මහජනතාව වෙත සහන සැළසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.