අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 ක්‍ නාවික හමුදාව විසින් බේරා ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 02) උදෑසන ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගල් පරයක වැදී අනතුරට පත් මෙරට බහුධින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කෙරිණි.

ත්‍රිකුණාමලය, කොඩ්බේ වරායෙන් 2023 ජනවාරි මස 24 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් 04 දෙනෙකු රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් (IMUL-A-0048-TLE) ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගල් පරයක වැදී අනතුරට පත්ව ඇති බවට නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා පටුන ආයතනය වෙත තොරතුරක් ලැබිණි. ඒ අනුව, අද දින (2023 පෙබරවාරි 02) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් කුඩා යාත්‍රාවක් යොදවා ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව ගොඩබිමට රැගෙන ඒමට ක‍ටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.