නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ වාලම්පූරි 17 ක්, කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 671 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) සමඟ වාලම්පූරි 17 ක්, කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් 671 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26ත් 54ත් අතර වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා (03), වාලම්පූරි 17, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව (01) සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.