නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239 ක් (තෙත බර සහිත) සහ මෝර වරල් කිලෝග්‍රෑම් 921 ක (තෙත බර සහිත) තොගයක් සහිත ලොරි රථ දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා විජය ආයතනය මඟින් අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී, පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථ දෙකක් පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී එම ලොරි රථ මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ උර 04 ක අසුරන ලද වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239 ක් (තෙත බර සහිත) සහ උර 19 ක අසුරන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 921 ක (තෙත බර සහිත) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථ දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 48 ක් වන පුත්තලම සහ අලුත් එළුවන්කුලම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරුවන්, වියළි මුහුදු කූඩැල්ලන් හා මෝර වරල් තොගය සහ ලොරි රථ දෙක (02) ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.