නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 53 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2023 පෙබරවාරි මස 09 වන දින සිට 15 වන දින දක්වා මන්නාරම අච්චානකුලම්, යාපනය පුංගුඩුතිව්, මන්නාරම නරිවිල්කුලම්, යාපනය පලෛතිව් දූපත, යාපනය කල්මුණේ තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සහ දිවයිනට ඊසාන දෙසින් වූ මුහුදේ දී සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පනස් තුන්දෙනෙකු (53) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13), එක්දින ධීවර යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 පෙබරවාරි මස 09 වන දින උදෑසන කාලයේදී, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස විසිතුරු මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) සමඟ විසිතුරු මසුන් 325 ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2023 පෙබරවාරි මස 10 වන දින උදෑසන කාලයේදී, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගෝඨයිම්බර ආයතනය මඟින් යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ මුහුදු කූඩැල්ලන් 119 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2023 පෙබරවාරි මස 11 වන දින අළුයම් කාලයේදී, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, නරිවිල්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු (08) සමඟ මුහුදු කූඩැල්ලන් 78 ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

2023 පෙබරවාරි මස 13 වන දින අළුයම් කාලයේදී, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා කංචදේව ආයතනය මඟින් යාපනය, පලෛතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් 163 ක පමණ තොගයක්, හක් බෙල්ලන් 57 ක්, ඩිංගි යාත්‍රා දෙකක් (02), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2023 පෙබරවාරි මස 14 වන දින අළුයම් කාලයේදී, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, කල්මුණේ තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් විසි හතර දෙනෙකු (24) සමඟ මුහුදු කූඩැල්ලන් 509 ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රා තුනක් (03), එක්දින ධීවර යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 පෙබරවාරි මස 14 වන දින රාත්‍රියේ සහ , 2023 පෙබරවාරි මස 15 වන දින අළුයම් කාලයේදී, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේණි ආයතනය මඟින් දිවයිනට ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි පුද්ගලයන් එකළොස් දෙනෙකු (11) ඩිංගි යාත්‍රා පහක් (05) සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඉදිරි නීතීමය කටයුතු සඳහා අදාල ප්‍රදේශයන්හී ධීවර පරික්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කරන ලදී.