කේරළ ගංජා කිලෝ 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සන්ද්‍යා කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කරන ලදි. එහිදි එම සැකකරු විසින් ‍‍නීතිවිරෝධි ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ පාර්සල් 05 ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 10 ග්‍රෑම් 415 ක පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 03 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් වයස අවුරුදු 42 ක් වන සැකකරු (01) මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු සහ කේරළ ගංජා කිලෝ 10 ග්‍රෑම් 415 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.