නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද භාණ්ඩ ‍තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද බවට සැක කෙරෙන භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, මොහොත්තුවාරම් මුහුදු තීරයේ 2023 මාර්තු මස 03 වන දින සවස් කාලයේ කුඩා යාත්‍රා යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මොහොත්තුවාරම් වෙරළට පැමිණ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, නීති විරෝධී ලෙස විදෙස් රටකින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැ‍ගෙන එන ලද බවට සැකකෙරෙන වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 15 ක්, එනසාල් කිලෝග්‍රෑම් 01 ක්, වියලි කජු මද කිලෝග්‍රෑම් 14 ක්, සහල් කිලෝග්‍රෑම් 10 ක්, සීනි කිලෝග්‍රෑම් 248 ක්, තිරිගු පිටි කිලෝග්‍රෑම් 100 ක්, කරවල කිලෝග්‍රෑම් 03 ක්, කෝපි අඩංගු ඇසුරුම් 270 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන ඇසුරුම් 680 ක් සහ සබන් කැට 2930 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක (02) සහ එම භාණ්ඩ ‍‍තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.