කේරළ ගංජා කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03 ක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, තලෙයිමන්නාරම, පැරණි ජැටිය ප්‍රදේශයේ 2023 මාර්තු මස 09 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 කට අධික ප්‍රමාණයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද හා වයඹ නාවික විධානයන්ට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා සහ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයන් සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිසිය හා එක්ව තලෙයිමන්නාරම, පැරණි ජැටිය ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකු (03) පරික්ෂාවට ලක් කරන ලදි. එහිදි එම සැකකරුවන් විසින් අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ පාර්සල් 02 ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 03 ග්‍රෑම් 295 ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකකට (01) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (03) තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ කේරළ ගංජා කිලෝ 03 ග්‍රෑම් 295 ක පමණ ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.