නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් වෙන්නප්පුවට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 22) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 379 කට අධික තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද ‍තොරතුරක් මත බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයට අනුයුක්ත මීගමුව නාවික අනුඛණ්ඩයේ විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් මඟින් කුඩා යාත්‍රා යොදවා අද දින (2023 මාර්තු 22) අළුයම් කාලයේදී වෙන්නප්පුව මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර දොළහක් (12) නිරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම උර තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 379 ග්‍රෑම් 300 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණී.