යාපනය මාදගල් ප්‍රදේශයේදී රුපියල් මිලියන 54 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 28 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව වෙරළ තීරය ආවරණය වන පරිදි ස්ථාපිත වෙරළ නිරීක්‍ෂණ මුරකුටි මඟින් වෙරළ කලාපය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය මඟින් යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 28 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ පාමුර සංචාරයකදී එම වෙරළ තීරයේ සඟවා තිබූ සැකකටයුතු උර 08 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී, එම උර 08 හි පාර්සල් 71 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 150 ග්‍රෑම් 390 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය මඟින්, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 28 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, එම උරය (01) තුල පාර්සල් 07 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 ග්‍රෑම් 05 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ සහ මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54 කට අධික වෙතැයි විශ්වාස කෙරේ. තවද, නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.