මුහුදු කූඩැල්ලන් 12,700 ක ප්‍රමාණයක් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ පුද්ගලයින් 03 ක් මන්නාර‍ම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 30 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ මුහුදු කූඩැල්ලන් 12700 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මාර්තු මස 30 වන දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා තම්මැන්නා ආයතනය මඟින් මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 12700 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ කිමිදුම් උපකරණ, මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 32 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් 12700 ක ප්‍රමාණය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.