රුපියල් මිලියන 67.5 කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දින (2023 අප්‍රේල් 02) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 04 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් අද දින (2023 අප්‍රේල් 02) තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම උරය (01) තුල පර්සල් හතරක (04) ක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 04 ග්‍රෑම් 500 ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික වෙතැයි විශ්වාස කෙරේ. තවද, නාවික හමුදාව භාරයට ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.