රුපියල් මිලියන 141 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, අද අළුයම (2023 අප්‍රේල් 03) කන්කසන්තුරය වරායට රැගෙන ආ එම කේරළ ගංජා තොගය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එම මෙහෙයුම සිදුකල කණ්ඩායම වෙත සිය ප්‍රශංසාව පල කිරීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය ශාක්සාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව ආවේක්‍ෂණ කටයුතු පුළුල් කරමින් මුර සංචාර වැඩිකරමින් නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයේ පී 423 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොදවා කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදි, එම ඩිංගි යාත්‍රාව තුල උර දහ තුනක් (13) පාර්සල් 195 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 428 ග්‍රෑම් 900 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් අද අළුයම (2023 අප්‍රේල් 03) කන්කසන්තුරය වරායට රැගෙන එන ලද අතර, එහිදී එම කේරළ ගංජා තොගය නිරීක්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, එම මෙහෙයුම සිදුකළ නාවික පුද්ගලයන් වෙත සිය ප්‍රශංසාව පළකිරීමද එහිදී සිදුකෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 141 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 33ක් සහ 37ක් වන යාපනය, අනලතිව් දූපතේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා කිලෝ 428 ග්‍රෑම් 900 ක තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.