නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 03 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 3005 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අප්‍රේල් මස 03 වන දින දහවල් කාලයේ උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණය මඟින් යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා පරික්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, වලංගු බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු (12) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 1305 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 අප්‍රේල් මස 03 වන දින රාත්‍රී කාලයේ උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණය මඟින් වෙත්තලකේනි, කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත් රහිතව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1700 ක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු (05), කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 53 ත් අතර වයස්වල පසුවන යාපනය, නගර්කෝවිල්, වෙල්ලමුනයි, වීරවෙන්නායි සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය සහ තලයඩි ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.