රුපියල් මිලියන 93 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 283 කට (තෙත බර සහිත) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය ශාක්සාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු පුළුල් කරමින් නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 මුර යාත්‍රාව යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින අළුයම් කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදි, එම ඩිංගි යාත්‍රාව තුල උර හයක (06) පාර්සල් 76 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 283 ග්‍රෑම් 700 ක (තෙත බර සහිත) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 93 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 19 ත් 51 ත් අතර වයසේ පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා කිලෝ 283 ග්‍රෑම් 700 ක (තෙත බර සහිත) තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.