රුපියල් මිලියන 44 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 134 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත වෙරළ ආරක්‍ෂක මුර යාත්‍රාවක් යොදවා යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උර හතරක් (04) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, එම උර හතර (04) තුල පාර්සල් 58 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 134 ග්‍රෑම් 300 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 44 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.