රුපියල් මිලියන 3593 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදාව සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ (කිලෝමීටර් 244 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 3593 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 179 ග්‍රෑම් 654 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් (06) 2023 අප්‍රේල් මස 15 වන දින, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද දින (2023 අප්‍රේල් 17) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවය හා ශ්‍රී ලංකා පොලිසිය (මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය) එක්ව, සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ (කිලෝමීටර් 244 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ 2023 අප්‍රේල් මස 15 වන දින සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර අටක් (08) තුල පාර්සල් එකසිය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 179 ග්‍රෑම් 654 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් හය දෙනෙකු (06) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 3593 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 25 ත් 32 අත‍ර වයසේ පසුවන, නාකුළුගමුව, කුඩාවැල්ල, නෙටොල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් මිලියන 4908 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.