වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 10 ක් සමඟ සැකකරුවන් 07 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි 08 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (07); වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), විදුලි නොවන ඩෙටර්නේටර් දහ අටක් (18) සහ කිමිදුම් උපකරණ සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් 2023 මැයි මස 08 වන දින මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහීදී, එම ඩිංගි යාත්‍රාවේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (07); වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), විදුලි නොවන ඩෙටර්නේටර් දහ අටක් (18), සේවා නූල් අඩි දෙක හමාරක ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 43 ත් අතර, වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.