බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 06 ක්‍ නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින උදෑසන ( 2023 මැයි 14) සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 15 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව මඟින් නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බහුදින ධීවර යාත්‍රාවේ (IMUL-A-438-CHW) හිමිකරු විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. අනතුරුව, සීජී 208 යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස්, ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හය දෙනා (06) නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් පිරිස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සුදානමෙන් සිටී.