රුපියල් මිලියන 2800 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 121 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

රාජ්‍ය බුද්ධි සේවාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413 ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2310 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් (06) 2023 මැයි මස 13 වන දින, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද දින (2023 මැයි 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා එක්ව, සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර පහක් (05) තුල පාර්සල් අනූනවයක (99) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ පාර්සල් නවයක (09) අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් හය දෙනෙකු (06) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 2800 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද මෙම මෙහෙයුමට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගොඩබිම් ජාලයේ සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටියි.

මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 29 ත් 58 අත‍ර වයසේ පසුවන, මීගමුව, ඉරණවිල, ආඬිගම සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 7603 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.