වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2023 මැයි 19 වන දින කල්පිටිය රොඩ්ඩපාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නිවසක් තුළ සඟවා තිබූ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 603 ක් සහ ෂැම්පු පැකට් (මිලි 6) 11520 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය සහ කල්පිටිය පොලිසිය එක්ව කල්පිටිය රොඩ්ඩපාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම නිවස තුල උර 10 ක අසුරා සඟවා තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැකකෙරෙන වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 603 ක් සහ ෂැම්පු පැකට් (මිලි 6) 11520 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු නීති විරෝධී ලෙස රැගෙන එන ලද භාණ්ඩ තොගය සහ සැකකරුවන් දෙදෙනා (02) ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.