විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මැයි 25) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2023 මැයි 25) අළුයම් කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි අයතනය මඟින් පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 61 ත් අතර වයසේ පසුවන පුල්මුඩේ සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගත් අතර, එම පුද්ගලයින් අට දෙනා (08), ඩිංගි යාත්‍රා දෙක (02) හා ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.