නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි චුණ්ඩිකුලම්, චලෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන් හී අද දින (2023 මැයි 30) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2023 මැයි 30) අළුයම් කාලයේදී උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි අයතනයේ චුණ්ඩිකුලම්, චලෛයි සහ නගර්කෝවිල් නාවික අනුඛණ්ඩයන්ට අයත් විශේෂ කණ්ඩායම් යොදවා එම ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී චුණ්ඩිකුලම්, මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් ද (02), චලෛයි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) හා නීති විරෝධී ධීවර ආම්පන්නද , නගර්කෝවිල් මුහුදු ප්‍රදේශයේ දී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් ‍තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් 110 පමණ ප්‍රමාණයක් ද මෙලෙස නාවික හමුදා ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 52 ත් අතර වයසේ පසුවන මුල්ලියාන්, පුදුමාතලන්, මුලතිව්, මුල්ලිවෛක්කාල්, පුදුකුඩිඉරිප්පු, මන්නාරම සහ මාමුණේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් නව දෙනා (09), ඩිංගි යාත්‍රා පහ (05), මුහුදු කූඩැල්ලන් හා ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.