නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජුනි 01) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25), මුහුදු කූඩැල්ලන් එක්දහස් හැට අටක (1068) ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2023 ජුනි 01) අළුයම් කාලයේදී උතුරු නාවික විධානයට අයත් මාමුනෙයි සහ චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩයන් මඟින් මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25), මුහුදු කූඩැල්ලන් එක්දහස් හැට අටක (1068) ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 57 ත් අතර වයසේ පසුවන මන්නාරම, මුල්ලියාන්, කන්නයන්කාඩු සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් විසිපස් දෙනා (25), මුහුදු කූඩැල්ලන් එක්දහස් හැට අටක (1068) ප්‍රමාණය, ඩිංගි යාත්‍රා හත (07) සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.