ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාතේ ප්‍රදේශ කිහිපයක ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් හතරක් (04) බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ කලවාන යන ප්‍රදේශයන් වෙත 2023 ජුනි මස 04 වන දින සිට අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් අද දින උදෑසන (2023 ජුනි 05) කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් පාසල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා මෙන්ම, පීඩාවට පත් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් අවශ්‍ය සහන සැලසීම් සිදු කිරීමට කටයුතු කෙරිණි.