නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 26 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ලංකාපටුන වෙරළ තීරයේ සහ මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 13 හා 14 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් විසි හය දෙනෙකු (26) සමඟ ඩිංගි යාත්‍රා නවයක් (09) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුනි මස 13 වන දින රාත්‍රී කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින්, ලංකාපටුන වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර එම වෙරළ තීරයට පැමිණි පුද්ගලයින් එකළොස් දෙනෙකු (11) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 ජුනි මස 14 වන දින උදෑසන කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදුකල නොහැකි හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 56 ත් අතර පසුවන මන්නාරම, කින්නියා සහ චීනවරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. ලංකාපටුන වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් එකළොස් දෙනා (11), ඩිංගි යාත්‍රා හතර (04) සහ කිමිදුම් උපකරණ ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙතත්, මුලතිව් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් පහළොස් දෙනා (15), ඩිංගි යාත්‍රා පහ (05) සහ ධීවර ආම්පන්න මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙතත්, ඉදිරි නිතීමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.