නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ 2023 ජුනි මස 15 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය විසිනවයකට (729) අධික තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් 2023 ජුනි මස 15 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ පෙරියතුරෙයි සම්තොඩ්ඩමුනෙයි සහ වෙල්ලායි යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ සැකකටයුතු පාර්සල් අටක් (08) නිරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම පාර්සල් තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 729 ග්‍රෑම් 100 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය එම වෙරළ ප්‍රදේශයන්හි අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.