නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 15 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකල ධීවරයින් හතර (04) දෙනෙකු සහ ඩිංගි යාත්‍රා හතරක් (04) නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුනි මස 15 වන දින සන්ධ්‍යා කාලයේ නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය සහ රන්වැලි ආයතනයන් එක්ව නයාරු නාවික අනුඛණ්ඩයේ කුඩා යාත්‍රා යොදවා නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකල ධීවරයින් හතර (04) දෙනෙකු සහ ඩිංගි යාත්‍රා හතරක් (04) නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම හමුවේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ජින්නපුරම් ප්‍රදේශයේ ධීවරයින් පාලනය කිරීම සඳහා එහිදී අහසට අනතුරු ඇඟවීමේ එක් වෙඩි තැබීමක් ද නාවික හමුදාව විසින් සිදුකරන ලද අතර, එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු එක් (01) පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදි.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් සිදුකල මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 45 ත් අතර වයසේ පසුවන පෙරියපාඩු, කෝකිලායි සහ පුල්මුඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් සිව් දෙනා (04), ඩිංගි යාත්‍රා හතර (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.