නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය වෙත්තලකේණි, මාමු‍ණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 16 වන දින උදෑසන කාලයේදී සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට‍ දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුනි මස 16 වන දින උදෑසන කාලයේදී උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේණි ආයතනය මඟින්, වෙත්තලකේණි මාමු‍ණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 48 ත් අතර පසුවන තිහාරිය, වෙප්පකුලම්, නච්චිකුඩා, වෙට්ටකුලම්, නොරොච්චෝල, පල්ලෙකුඩා සහ උදයකාට්ටේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අට දෙනා (08), ඩිංගි යාත්‍රා හතර (04) සහ කිමිදුම් උපකරණ ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.