කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් තඹලගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය තඹලගමුව, මීරා නගර් ප්‍රදේශයේ 2023 ජුනි මස 26 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම ප්‍රදේශයේ නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා, ලංකාපටුන සහ ගෝකණ්ණ ආයතන කන්තලේ, සූරියපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, 2023 ජුනි 26 වන දින තඹලගමුව, මීරා නගර් ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම ප්‍රදේශයේ නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ පාර්සලයක් (01) තුල අසුරන ලද කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 576 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 42 ක් සහ 52 ක් වන තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, කේරළ ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා තඹලගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.