රුපියල් මිලියන 18 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ විදේශීය යාත්‍රාවක් සහ විදේශීය සැකකරුවන් 08 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 573 ක් පමණ (කිලෝමීටර් 1061 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 18 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 900 කට අධික ප්‍රමාණයක් සමඟ විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ විදේශීය සැකකරුවන් අට දෙනෙක් (08) 2023 ජුනි මස 22 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම යාත්‍රාව සහ සැකකරුවන් 2023 ජුනි මස 28 වන දින උදෑසන කොළඹ වරායට රැගෙන එන ලදි.

නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 573 ක් පමණ (කිලෝමීටර් 1061 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මඟින් 2023 ජුනි මස 21 වන දින මධ්‍යම රාත්‍රියේ එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කිරීමෙන් පසු 2023 ජුනි මස 22 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී. එහිදී, යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 926 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, එහි තිබූ අනෙකුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා නෞකාව නිරීක්‍ෂණය වීමෙන් පසු මුහුදට දමා ඇති අතර, එම යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය සැකකරුවන් අට දෙනා (08) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 18.5 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවුරුදු 17 ත් 42 අත‍ර වයසේ පසුවන, ඉරාන සහ පකිස්ථාන ජාතිකයන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, විදෙස් බහුදින යාත්‍රාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 926 ක ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.