නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1947 ක තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, කරතිව් වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ජුලි 02) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් නවසිය හතලිස් හතක (1947) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම, කරතිව් වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ජුලි 02) අළුයම් කාලයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙන ආ පාර්සල් හැට පහක (65) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රැම් 1947 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී .

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන පුත්තලම, කරතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු (01) සහ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1947 ක තොගය ඉදිරි නීතිමය කටයුතු කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.