නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෛයි, චුන්ඩිකුලම් සහ මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 ජුලි මස 07 සහ 08 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ‍ලෙස දියයට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දොළොස් දෙනෙකු (12), මුහුදු කූඩැල්ලන් එක්දහස් අටසීය හැත්තෑවක (1870) ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුලි මස 07 වන දින රාත්‍රී කාලයේදී උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය මඟින් චලෛයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කාලයේ නීති විරෝධී ‍ලෙස දියයට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 ජුලි මස 08 වන දින සවස් කාලයේදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් අටසීය හැත්තෑවක (1870) ප්‍රමාණයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 58 ත් අතර වයසේ පසුවන ධර්මපුරම්, වල්ලිපුරම්, හලාවත, මයිලවපුරම්, කල්ලාරු, තලයඩි සහ වලෛයිපාඩු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් දොළොස් දෙනා (12), මුහුදු කූඩැල්ලන් එක්දහස් අටසීයය හැත්තෑවක (1870) ප්‍රමාණය, ඩිංගි යාත්‍රා හතර (04) නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත සහ මන්නාරම සහකාර ධීවර කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.