බීඩි කොළ කිලෝග්‍රෑම් 557 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ 2023 ජුලි මස 18 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස්හතකට (557) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් 2023 ජුලි මස 18 වන දින මීගමුව, කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ලෙස මීගමුව කළපුවේ දූව ප්‍රදේශයේ නවතා තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා දෙක (02) තුළ නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන උර දහ නවයක (19) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය පනස්හතකට (557) අධික තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය පනස්හතකට (557) අධික තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.