වව්නියාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ කොහු මෝලක 2023 ජුලි මස 21 වන දින රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමේ සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, වව්නියාව ප්‍රදේශයේ ඇති වී ඇති හදිසි ගින්නක් මැඩපවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබා දෙන ලෙස වව්නියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය මඟින් 2023 ජුලි මස 21 වන දින රාත්‍රී කාලයේ උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ රථයක් (01) සහ ජල බවුසර දෙකක් (02) එම ගින්න පාලනය කිරීම සඳහා වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයට යොමු කරන ලදී. එහිදී, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් වව්නියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ අනෙකුත් ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව ප්‍රදේශ වාසීන්ගේද සහය ඇතිව, ඇතිවී තිබූ ගින්න මැඩපවත්වා පාලනය කිරීමට කටයුතු කෙරිණි.

තවද, රටේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකදී ආපදාවට පත් වන මහජනතාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.