නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු සහ වෙත්තලකේනි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 21 සහ 22 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුලි මස 21 සහ 22 යන දිනයන්හිදී උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් චුන්ඩිකුලම්, චලෙයි, මාමුනෙයි, වෙත්තලකේනී සහ නගර්කෝවිල් යන නාවික අනුඛණ්ඩයන් මඟින් කදයිකාඩු සහ වෙත්තලකේනි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. එහිදී, නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 47 ත් අතර වයසේ පසුවන මුල්ලියාන් සහ හලාවත යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් දහසය දෙනා (16), ඩිංගි යාත්‍රා එකොළහ (11) හා නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.