රුපියල් මිලියන 28 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කුඩඉරිප්පු මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 23 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් කුඩා යාත්‍රා යොදවා, කුඩඉරිප්පු ඉදිරි මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 23 වන දින සවස් කාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර දෙකක් (02) තුල අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 86 ග්‍රෑම් 700 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 28 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකරන තෙක් එම කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.