නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 03 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 27 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), කිලෝග්‍රෑම් එකසිය පහක (105) පමණ මසුන් තොගයක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ අඛණ්ඩව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසන්න අවට මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත නුදුරු දිනක හීන වී යාමේ අවධානමකට ලක්වීම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 ජුලි මස 27 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය මඟින් පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී, නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), කිලෝග්‍රෑම් එකසිය පහක (105) පමණ මසුන් තොගයක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 42 ත් අතර වයසේ පසුවන කුච්චවේලි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් තිදෙනා (03) සමඟ ඩිංගි යාත්‍රාව (01), මසුන් තොගය සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.