වත්තල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා සහය

වත්තල, පල්ලිය පාර ප්‍රදේශයේ නිවසක අද දින (2023 අගෝස්තු 01) අළුයම් කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

වත්තල පල්ලිය පාර ප්‍රදේශයේ නිවසක ඇති වී ඇති හදිසි ගින්නක් මැඩපවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබා දෙන ලෙස වත්තල පොලිසිය මඟින් අද දින (2023 අගෝස්තු 01) අළුයම් කාලයේ බටහිර නාවික විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක් ගිනි නිවීමේ රථයක් (01) සහ ජල බවුසරයක් (01) සමඟ එම ගින්න පාලනය කිරීම සඳහා වත්තල, පල්ලිය පාර ප්‍රදේශයට යොමු කරන ලදී. එහිදී, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම ප්‍රදේශ වාසීන්ගේද සහය ඇතිව, එම නිවස තුල ඇතිව තිබූ ගින්න මැඩපවත්වා අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට කටයුතු කෙරිණි.

තවද, මෙවැනි ඕනෑම හදිසි අවස්ථාවකදී ආපදාවට පත් වන මහජනතාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.