දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව 2023 අගෝස්තු මස 01 වන දින කටයුතු කරන ලදී.

කලමැටිය ධීවර වරායෙන් 2023 ජුලි මස 30 වන දින ධීවරයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Warshan Putha 03’ (ලියාපදිංචි අංක IMUL-A-0872 MTR) නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හම්බන්තොට සිට ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසට වන්නට වූ මුහුදු ප්‍රදේශයේදී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අනුයුක්ත පී 475 වේග ප්‍රහාරක මුර යාත්‍රාව රෝගී ධීවරයා සහිත බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කරන ලදි. ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා 2023 අගෝස්තු මස 01 වන දින රෝගීවූ ධීවරයා හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් 2023 අ‍ගෝස්තු මස 01 වන දින හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.