ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලි පොලීසිය හා එක්ව, ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයෙහි 2023 ජුලි මස 31 සහ 2023 අගෝස්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම ප්‍රදේශයන්හී සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ පහක් (05), සකසන ලද පුපුරණ ද්‍රව්‍ය කොටස් දහ හතරක් (14) සහ විදුලි නොවන ඩෙටර්නේටර් දහ හතක් (17) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය කුච්චවේලි පොලිසීය හා එක්ව 2023 ජුලි මස 31 වන දින ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කර එම නිවස තුල සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ පහක් (05), සකසන ලද පුපුරණ ද්‍රව්‍ය කොටස් තුනක් (03) සහ විදුලි නොවන ඩෙටර්නේටර් හතරක් (04) සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතන මඟින් 2023 අගෝස්තු මස 03 වන දින ත්‍රීකුණාමලය පොඩුවාකට්ටු ප්‍රාදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගිල්වා තිබූ මුද්‍රා තබන ලද බයිසිකල් ටියුබයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ටියුබය තුල සූක්‍ෂම ලෙස අසුරා තිබූ සකසන ලද පුපුරණ ද්‍රව්‍ය කොටස් එකොළහක් (11) සහ විදුලි නොවන ඩෙටර්නේටර් දහ තුනක් (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, 2023 ජුලි මස 31 වන දින අත්අඩංගුවට ගත් වයස අවුරුදු 43 ක් වන සැකකරු කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 අගෝස්තු මස 03 වන දින නාවික හමුදා භාරයට ගත් වාණිජ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.