නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි සහ ලංකාපටුන වෙරළ ප්‍රදේශයන්හි 2023 අගෝස්තු මස 03 සහ 04 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දහ දෙනෙකු (10), නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයන් හා මුහුදු කූඩැල්ලන් එකසීය දහසයක (116) ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අගෝස්තු මස 03 වන දින රාත්‍රී කාලයේදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් නිලාවේලි මුහුදු ප්‍රදේශයෙහි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී, එම පුද්ගලයා සතුව තිබී රාත්‍රී කාලයේ නීති විරෝධී ‍ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර අල්ලන ලද මත්ස්‍යයන් තොගයක් සමඟ එම පුද්ගලයා මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 අගෝස්තු මස 04 වන දින අළුයම් කාලයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් ලංකා පටුන වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරන ලද පුද්ගලයින් නවදෙනෙකු (09) සමඟ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් එකසීය දහසයක (116) ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 48 ත් අතර වයසේ පසුවන තඹලගමුව සහ චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් දස දෙනා (10), මත්ස්‍යයන්, මුහුදු කූඩැල්ලන් එකසීය දහසයක (116) ප්‍රමාණය, ඩිංගි යාත්‍රා තුන (03) සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.