රුපියල් මිලියන 75 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පොන්නාලෛයි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 05 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය විසිහතකට (227) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථයක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය ලබා දෙනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය, වඩුක්කෝඩෙයි පොලීසිය හා එක්ව, 2023 අගෝස්තු මස 05 වන දින රාත්‍රියේ පොන්නාලෙයි ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, මාර්ගයේ ධාවනය කරමින් තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂා කිරීමේදී, එම ලොරි රථයේ තිබූ උර අටක් (08) තුල පාර්සල් එකසීයය පහක (105) අසුරන ලද කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 915 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 915 ක තොගය සැකකරු(01) සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුක්කෝඩෙයි පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.