මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 07) අළුයම මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින්, අද දින (2023 අගෝස්තු 07) අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා (10) ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා 14 ක් සහ ඉන්දීය ධීවරයින් 93 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත සුරකිමින් දේශීය ධීවරයාගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.