රුපියල් මිලියන 27 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 22 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව මඟින් යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 22 වන දින සිදුකළ මුර සංචාරයකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන පාර්සල් විසි දෙකක (22) අසුරන ලද කේරළ ගංජා කිලෝ 83 ග්‍රෑම් 200 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 27 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.